top of page
Writer's picturePriyantha Bandara

ක්ෂිරපත මන්දාකිණිය ඡායාරුපගතකරන්නේ මෙහෙමයි

විශ්වය සහ අභ්‍යවකාශය අතීතයේ පටන්ම මනුෂ්‍ය වර්ගයාගේ කුතුහලයට ලක්වුණු, ඒ වගේම මවිතයටපත්කෙරු දෙයක්. මිනිසුන් දිනෙන් දින මනසින් මෙන්ම දැණුමෙන් මෝරා යද්දී , රාත්‍රීඅහසේ පෙනෙන තාරකා සහ නොයෙක් වස්තුන්පි ළිබඳව තව තවත් සොයන්නට වුණා වගේම ඒ පිළිබඳවඉතාම විශාල කරුණු කාරණා හෙළිදරවු කරගන්නටද සමත් වුණා. එමෙන්ම, බොහෝ දෙනා විනෝදාංශයක් වශයෙන්වගේම, තමන්ගේ දවසේ මහන්සිය වගේම ආතතිය අඩුකරගැනීමේ ක්‍රමයක් ලෙසත් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම කරන්නට පෙළඹුන.



තාරකා විද්‍යාඥයින් වගේම, සාමාන්‍ය ජනයාත් පියවි ඇසින් වගේම නොයෙක් උපකරණ භාවිතා කරමින්ද අහස දෙස බලන්නට පටන්ගත්ත. මේ අතුතින් ඡායාරුපශිල්පින්ද මේ වනවිට විශේෂ උනන්දුවක් අභ්‍යවකාශය සහ එහි පෙනෙන වස්තුන් කෙරෙහි දක්වනවා. නුතන තාක්ෂණයේ දියුණුව ්සමගම ඇතිවී තිබෙන පහසුකම් සහ උපකරණ නිසා, රාත්‍රී අහස නිරීක්ෂණය වගේම එහි ඡායාරුප ගැනීමද අද මීට දශකගණනාවකට වඩා පහසු මෙන්ම විනෝදමත් අත්දැකීමක්. අපි නිතරම පරිහරණයකරන ජංගම දුරකතනයෙන් පවා රාත්‍රී අහසේ ඡායාරුප ලබා ගැනීමේ හැකියාව දැන් අත්දකින්නට පුළුවන්.


මෙවැනි රාත්‍රී අහසේ අපට නිරීක්ෂණය කිරීමට හැකි, ඒ වගේම පැහැදිලි ඡායාරුප ලබාගැනීමේ හැකියාවක් ඇති සුන්දර වස්තුවක්තමයි ක්ෂිරපත මන්දාකිණිය (Milkyway galaxy). ක්ෂිරපත මන්දාකිණිය අපට බොහෝ දුරකින්පිහිටි වෙනත් වස්තුවක් සේ පෙනුනත්, ඇත්ත වශයෙන්ම අපි ජීවත් වෙන පෘතුවිය සහිත සුර්යග්‍රහ මණ්ඩලය ක්ෂිරපත මන්දාකිණියේම කොටසක්. අපගේ සුර්යය මෙන් තවත් තාරකාවන් බිලියන 100ත් 400ත් අතර ප්‍රමාණයක්ක්ෂිරපත මන්දාකිණිය තුල තිබෙන බව ඇස්තමේන්තු කරලා තියෙනවා.


මෙවැනි සුවිශාල තාරුකාවන් ගණනාවක් වටකරගත් නොයෙක් වායුන්ගෙන් පිරුණු මධ්‍යස්තයක් සහිත ක්ෂිරපත මන්දාකිණිය පළලින් ආලෝක වර්ෂ ලක්ෂයක් සහ දෙලක්ශයත් අතර බවත් කියවෙන චක්‍රාකාර හැඩයකින් යුතුයි. ඒ වගේම අපට ක්ෂිරපත මන්දාකිණිය කියල රාත්‍රියට දිස්වෙන්නේ එහි මධ්‍ය ප්‍රදේශය වන Glactic center නමින් හඳුන්වන කොටස. අපගේ සුර්යයා පිහිටන්නේ මේ ක්ෂිරපත මන්දාකිණියේ මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 25,000ක් දුරින්. හරියට අපි ඉන්නේ රවුම්හැඩති කුඹුරකනම්, ක්ෂිරපත මන්දාකිණියේ මැද කියන්නේ කුඹුරමැද තියෙන කමත වගේ.



පෘතුවියේ ජීවත් වෙන අපිට, අපි වාසය කරන ප්‍රදේශය සහ වසරේ කාලය අනුව ක්ෂිරපතමන්දාකිණිය පෙනෙන දිශාව, කාලය සහ එය පිහිටන කෝණය වෙනස්වෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ක්ෂිරපත මන්දාකිණිය අපට බලාගැනීමේ හැකියාව තියෙන්නේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වෙන කාලය අතරතුර. මෙයිනුත් ශ්‍රී ලංකාවට ක්ෂිරපත මන්දාකිණිය වඩාත්ම පැහැදිලිව දිස්වෙන්නේ මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කියල තමයි මගේ අත්දැකීම් වලින් මට දැනිල තියෙන්නේ.

ඔබත් ක්ෂිරපත මන්දාකිණිය ඡායාරුපගත කිරීමට කැමති කෙනෙක්නම් ඔබට වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. එයින් මුලිකම කරුණ වෙන්නේ ඔබට ක්ෂිරපත මන්දාකිණිය ඡායාරුපගතකිරීමටනම් රාත්‍රී අහසේ ආලෝකය ඉතාමත්ම අඩු ප්‍රදේශයක් සහ දවසක් වියයුතුයි. මෙසේ වෙන්නේ හඳඑළියෙන් වගේම පොළොවේ අපි විසින් ඇතිකර තිබෙන විවිධ ආලෝක ප්‍රභවයන් නිසාඅපිට රාත්‍රී අහසේ වස්තුන් පැහැදිලිව බලාගන්නට බැහැ. මේ නිසා මාසයකකාල සීමාවක් ලෙස බැලුවම අමාවක සඳ තිබෙන දවස සහ ඉන්ද වස් කිහිපයක් පසුපසට සහ ඉදිරියට සලකන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශයන්ලෙස බැලුවොත් ගොඩක්ම නාගරික ප්‍රදේශ වලින් දුරස්ථ වන තරමට ක්ෂිරපතමන්දාකිණියේ පැහැදිලි ඡායාරුප ලබාගැනීමේ අවස්ථාවන් වැඩියි. ශ්‍රී ලංකාවේ වඩාත්ම පැහැදිලිව ක්ෂිරපත මන්දාකිණිය බලාගැනීමට හැකි වෙන්නේ උතුරුසහ නැගෙනහිර ප්‍රදේශයන්ට වෙන්නෙත් ඒක නිසාම තමයි. ඒ කොහොම වුනත්, මධ්‍යම පළාත, දකුණු පළාත, සබරගමුව වගේම උතුරුමැද පළාතට ක්ෂිරපත මන්දාකිණිය පැහැදිලිව ඡායාරුපගතකිරීමේ හැකියාව තියෙන ස්ථාන සොයාගන්නට පුළුවන්. ඒ වගේම අහසේ වලාකුළු නැති හෝ ඉතාම අඩු වීමත් වැදගත්.



ක්ෂිරපත මන්දාකිණිය ඡායාරුපගතකිරීමට කලින් මුලින්ම එය අහසේ පිහිටන ස්ථානය සොයා ගන්නට සිදුවෙනව. එයට හේතුව වෙන්නේ බහුතරයක් අවස්ථාවන්වලදී සහ ස්ථාන වලදී එය පියවි ඇසින් බලාගැනීමට නොහැකි නිසා. නමුත් මම කලින් සඳහන්කරපු තත්වයන් සියල්ල ඉතා හොඳින් සම්පුර්ණනම්පියවි ඇසින් බලාගැනීමටත් පුළුවන්. එසේ නොහැකි අවස්ථාවන්වලදී ක්ෂිරපත මන්දාකිණිය සොයාගැනීමේ දැන් වඩාත්ම ප්‍රචලිත ක්‍රමය තමයි ජංගම දුරකථන ඇප් භාවිතා කිරීම. මේ සඳහා ඇප්ගණනාවක් දැනට තියෙනවා. Photipills , Skyview සහ Starwalk එවැනි ජනප්‍රිය ඇප් කිහිපයක්.

ක්ෂිරපත මන්දාකිණිය ඡායාරුපගතකිරීමේදී ඔබට කැමරාවේ සෙටින්ග්ස් manual ක්‍රමයන් භාවිතයෙන් වෙනස් කරගැනීමට සිදුවෙනවා. මෙහිදී තමන්ගේ කාචය හැකි අඩුම aperture අගය භාවිතා කිරීම වැදගත්. ඒ වගේම, ISO අගය 2500කට වඩා වැඩිවීම වගේම ද්වාර වේගය (shutter speed ) තත්පර 10ක සිට 15ක්දක්වා වීමත් බොහෝවිට ප්‍රමාණවත්. නමුත් මා මේ කිවූ settings අනුමාන වශයෙන් වන නිසා නිතරම එම අගයන් අඩුවැඩි කරමින් උත්සාහ කිරීමට සිදුවෙනවා. ඔබ පරිහරණ කරන කාචය, කැමරාව, රාත්‍රී අහසේ පැහැදිලිකම වගේකරුණු කිහිපයක් නිසා කිසිම විටක ක්ෂිරපත මන්දාකිණිය ඡායාරුපගතකිරීමට නියත settings අගයන් කීමට හැකියාවක් නැහැ.


ක්ෂිරපත මන්දාකිණියේ වඩාත් පැහැදිලි ඡායාරුප ගැනීමට නොයෙක් ක්‍රමවේද භාවිතා කරනවා. කැමරාවට පිටින් සවිකරන , පෘතුවියේ සහ ක්ෂිරපත මන්දාකිණියේ චලනයට කැමරාව සමමුහුර්ත (synchronize) කරන Star Tracker උපකරණ භාවිතය එවැනි ක්‍රමයක්. ඒ වගේම ක්ෂිරපතමන්දාකිණියේ ඡායාරුප ගණනාවක් එකතුකොට තනි ඡායාරුපයක් ගොඩනැගීම තවත් ක්‍රමයක්. ඒ වගේම මෙවැනිකටයුතු සඳහාම යොදාගැනීමට සකසන ලද කාචසහ අනවශ්‍යය ආලෝකය අඩුකිරීමට හැකි පෙරනයන් (light pollution filters) පවා යොදා ගැනෙනවා.කෙසේනමුත් මෙවැනි වැඩි දියුණු කලක්‍රම භාවිතය සැමවිටම අත්‍යාවශ්‍ය වන්නේ නැහැ.


ඉතින් ඔබත් රාත්‍රී අහස නිරීක්ෂණයට වගේම ඡායාරුපගත කිරීමට කැමති කෙනෙක්නම්, මේ කාලය එයට ඉතාමත්ම සුදුසුයි


- ලිව්වේ ප්‍රියන්ත බණ්ඩාර


මෙම ලිපිය 2021 ජූලී මස 19වැනි සඳුදා අරුණ ජාතික පුවත් පතේ පළ වුනා




67 views0 comments

Comments


bottom of page