• Priyantha Bandara

මා මවිත කල ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය

ලෝකේ තියෙන රටවල් ගොඩක් අතරෙන් ශ්‍රී ලංකාවට ආසන්නයේම තියෙන, ගොඩක්ම වෙනස් භූ විෂමතාවයන් ගණනාවකින් සමන්විත රට තමයි ඉන්දියාව. ඉන්දියාවට ගියොත් අපිට මැදපෙරදිගට යන්න කලින් කාන්තාර හම්බවෙනවා, යුරෝපයට යන්න කලින් හිම කඳු හම්බවෙනවා, ඒ වගේම උත්ත්රද්‍රවයට යන්න කලින් ග්ලැසියර් පවා හම්බවෙනවා. ඉන්දියාව බහුතරයක් වශයෙන් ශ්‍රී ලංකාවට ගොඩක් සමාන දේශගුණයක් තිබ්බට, රටේ උතුරට වෙන්න තියෙන හිමාල කඳු පන්තිය නිසා හිතාගන්න බැරිතරම් ශීතල කාලගුණයකුත් ඒ වගේම අපිව මවිත කරන්න සමත් හිම කඳු, ගිරි දුර්ග සහ මං මාවත් වලින් සමන්විත වෙනවා. මේක නිසාම තමයි ලෝකේ වටෙන්ම සංචාරකයන් මිලියන ගණනක් උතුරු ඉන්දියාවේ හිමාල කඳු පන්තියට මායිම්ව පිහිටන විශ්මිත ලදක් ප්‍රදේශය (Ladakh) බලන්න එන්නේ. ලදක් වල ලස්සන කියල නිම කරන්න බැරි තරම් වගේම තමයි ඒ ප්‍රදේශයේ විශාලත්වයත් එහෙමමයි.


මා හට ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය මුහුණට මුහුණ හමුවුන මොහොත


දිස්ත්‍රික්ක ගණනාවකින් සමන්විත ලදක් ප්‍රදේශයට මම ගියේ එහි තිබෙන විශේෂ භුමි දර්ශන ඡායාරුප ගත කරන්නමයි. මම භුමි දර්ශන ඡායාරුපශිල්පියෙක් නිසා ලදක්වල මට බලන්න දේවල් එමටයි.


ලදක් වල මගේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් උනේ ද්‍රන්ග් දෘන්ග් (Drang Drung) ග්ලැසියරය. ලදක්වල ලොකුම නගරය වෙන ලේහ් වල ඉඳල, කාර්ගිල් හරහා වැටිලා තියෙන දුෂ්කර නමුත් ඉතාම සුන්දට පටු මාර්ගය දිගේ ශ්‍රී නගර් පැත්තට කිලෝ මීටර 370ක් ගිහිල්ල , පෙන්සි ලා කඳු දුර්ගය පසු කරාම ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරයට ලඟා වෙන්න පුළුවන්.


ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය අයිති වෙන්නේ ලදක්වල කාර්ගිල් දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන සංස්කාර් තැන්නට. මේ ග්ලැසියරය දිගින් කිලෝ මීටර 23ක් විතර වෙනවා. ලදක්වල තියෙන ප්‍රධානම ගංගාවක් වෙන ඉන්දුස් ගංගාවට වැටෙන අතු ගංගාවක් වෙන සංසකාර් ගංගාවේත් අතු ගංගාවක් වෙන ස්ටෝඩ් කියන ගඟ තමයි මේ ග්ලාසියරයක් ලෙස මිදිලා තියෙන්නේ. ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය පටන්ගන්නේ මුහුදු මට්ටමේ ඉඳල මීටර් 6550ක් උස ඩෝඩා කියන කඳු මුදුනින්.



සංස්කර් තැන්නට ඇතුලුවෙන ස්ථානයේ තිබෙන ස්මාරකයක්


ලෝකේ ලොකුම ග්ලැසියර් තියෙන්නේ polar region එහෙමත් නැත්නම් උත්තර සහ දක්ෂිණ ද්‍රව ප්‍රදේශයන් ආශ්‍රිතව. Polar region වලින් පිට තියෙන ග්ලැසියර් වලින් දෙවෙනියට ලොකුම එක වෙන සියචින් ග්ලැසියරය තියෙන්නෙත් හිමාල කඳු පන්තියේ. පකිස්ථානය ආසන්නව තියෙන යුධ වාතාවරණය නිසා සියචින් ග්ලැසියරය බලන්න අපිට යන්න අවසර නැහැ. නමුත් සියචින් වලට පස්සේ ඉන්දියාවේ තියෙන ලොකුම සහ ප්‍රධානම ග්ලාසියරයක් තමයි ද්‍රන්ග් දෘන්ග්. ඒක නිසා ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය ඉන්දියාවට වගේම ලෝකෙටම ගොඩක් විශේෂයි.


මම ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය පෙනෙන මානයේ දවසක් කුඩාරමක ගතකලා. ඒ ගමනේදී එම ප්‍රදේශයේ තියෙන ප්‍රබල සුලන් වලින් සහ ශීතලෙන් පීඩා විඳින්නත් සිද්ධ වුනා. කොහොම වුනත් මම අදටත් ආඩම්බර වෙන පින්තුර ගණනාවක් ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය අබියසදී ගන්න ලැබුන. එයින් ප්‍රධානම එකක් තමයි ක්ෂිර පථය ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරයට හරියටම තිරස්ව ස්ථාන ගත වුන වෙලාවේ ගන්න ලැබුන පින්තුරය.


ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය උඩින් දිස් වුන ක්ෂිර පථය

ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය අසල කඳවුරු බිම


ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය බලන්න යනවනම් ඔබට යන්න වෙන්නේ මැයි මාසයේ සිට සැප්තැම්බර අන්තිම වෙනකම් විතරයි. මොකද දැඩි හිමපතනය නිසා ශ්‍රී නගර් පාර වසරේ අනෙක් කාලයන්වල සංචාරකයන්ට විවෘත නැහැ.


ද්‍රන්ග් දෘන්ග් ග්ලැසියරය අසලින් දිවෙන ශ්‍රී නගර් මාර්ගය



ලිව්වේ ප්‍රියන්ත බණ්ඩාර


මෙම ලිපිය 2021 මැයි 19වැනිදා 'අද' ජාතික පුවත් පතේ පල වුනා